Sunday, December 9, 2018

ගීයක අරුත් විමසුම

කන්ද පිරිමැද ගීතය විචාරය


ගී පද රචක සියඹලාගමුවේ අමරදාස කවියා මුලින් වෘත්තිය වශයෙන් අධිකරණ සේවයේ නියුතු ව සිට පසු ව විශ්‍රාම ගිය අයෙකි. මොහු එතරම් ප්‍රකට කවියකු නොවුවත් ඔහුගේ කන්ද පිරිමැද ගීතය එදා මෙදා තුර බොහෝ ජනප්‍රියත්වයට පත් වු ගීතයකි. දශක දෙකක් පමණ පැරණි මෙම ගීතය ඔහුගේ ම අද්දැකිමක් ද විටෙක සිතිය හැකිය. සමහර අද්දැකීම් තියෙනවා හිතට වද දෙන එහෙත් ඒවා කියා ගත නොහැකි ඒවා ය. එවිට බොහෝ පිරිස් සිදු කරන්නේ එය කවියට ගීතයට නැගීම ය. ඔහුගේ මෙම ගීතය ද එසේ ලියවුවක් බව සිතිය හැක. කවියා මෙම ගීතය උපරිම ලෙස පුනරුක්ති හා ව්‍යංගාර්ථ යොදා ගනිමින් අලංකාර ලෙස ලියා ඇති බව පැහැදිලි ය. ගීතයේ ගායනය සේනානායක වේරලියද්ද හා සංගීතය සුසිල් අමරසිංහගේ සහයෝගය හේතුවෙන් මෙහි රසය වඩ වඩාත් ඉස්මතු වේ.

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා....//
අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙය අවසද
නොවී ඉමු ඉක්මන්....//
ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මෙන්
අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්....//

ආදරය යනු හරි අපූරු දෙයකි. ජීවිතය ජීවත් කරවන්න මෙන් ම මරන්න ද මේ ආදරයට  පුළුවනි. ජීවිත කාලය ම කියවන්න ජීවිත කාලය ම හිතන්න කවි ලියන්න මේ ආදයට පුළුවනි.  අපි ඉපදුනු දිනයේ සිට මියයාම දක්වා ආදරය කරති. ඒ ඒ කාලවලට එක් එක් පුද්ගලයාට දැනෙන ආදරය වෙනස් ය. එනම් විරුද්ධ ලිංගික ආදරය ම නොවේ. මවගේ ආදරයෙන් ආරම්භ වි සම්මත අසම්මතයන් සක්වා ආදරය දිව යති. ආදරයේ ලස්සන ම සුන්දර ම අවධිය වන්නේ නව යොවුන් ආදරයයි. එම නව යොවුන් ආදරය ගැන ලියවුනු අපුරු පද රචනයක් ලෙස කන්ද පිරිමැද ගීතය හදුනා ගත හැක. මෙය රසවත් මෙන් ම සමාජ ආදර්ශයක් ලබා දෙන ගීතයකි.

සරලව ලියවෙලා තිබෙන මේ ගීතයෙන් කතා බහට ලක් වන්නේ ලා බාල වයසේ පසුවන පෙම්වතියක් හා තරමක් මුහුකුරා ගිය පෙම්වතෙකුගේ ආදර කතාවකි. පාසල් යන වයසේ පසුවන යෞවනියක් හා තරුණයෙකු අතර පසුවන මෙම ප්‍රේම සම්බන්ධතාව කාලයත් එක්ක දළු ලා වැඩෙන්න පටන් ගනී. මේ යෞවනියගේ සිතට තමන් ආදරේ කරන පෙම්වතා ළගින් ම සිටීමට ඔහු විවාහ කර ගැනීමට ආසාවක් සිතේ ඇතිවේ. ඒ බව පෙම්වතාට පැවසූ පසු  ඔහු ඇයට තමන්ගේ ම නැගණියක්ට උපදෙස් දෙන ආකාරයෙන් මෙසේ පවසයි.

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

කන්දට හද පායාවි. ඒ නිකම්ම නොවේ. කන්ද පිරිමදිමින් ටිකින් ටික මෝරමින් එන හදකි. එය පායන්න කල් ගත වේවි. ඒ හද පායනකම් අපි බලා හිදිමු. හද පායන්න පෙර අපි මගට බැස්සොත් ආදරය යන අපේ ගමන යාමට අපිට බැරිවේවි. යනුවෙන් මතුපිටින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් කවියා පද්‍ය තුළින් ඉස්මතු කරයි. ගැමි සමාජය තුළ බොහෝ විට වන්දනාවේ යන්නේ පෝය දිනටයි. පෝය දින ආරම්භ වන ගැමි චාරිකාව වන්දනාවක් ලෙස හදුන්වයි. ඒ අයුරින් ම කවියා ඔවුන්ගේ ආදරය ද වන්දනාවකට උපමා කරයි. වන්දනාවක් යන්නේ පෝය දිනක නම් පෝයක් එන තෙක් ඉවසා සිටිය යුතුය. පෝයට කන්ද මුදුනින් හද පායන්නේ කන්ද පිරිමදිමිනි. කන්ද වගේ තියෙන්නේ ඔවුන්ගේ ආදරයයි. ඔවුනුගේ ඒ හැගුම් උද්දීපනය වන විට ඉවසා සිටිය නොහැක. එහෙත් මෙම පෙම්වතිය තාමත් භද්‍ර යෞවනයට පිවිසියා පමණි. ඇගේ ශරිර රූපශ්‍රිය මෙන් ම හැසිරීම් ද වර්ධනය වුවත් ඇය තවමත් ළා බාල තරුණියකි. සමහර විට පෙම්වතාට ඇය ව රැකබලා ගැනීමට තරම් ස්ථීර රැකියාවක් නොමැති වුවා ද විය හැක. එබැවින්

වන්දනාවක යන්නෙ කොහොම ද අපි දැන් ම මග බැහැලා

යනුවෙන් පෙම්වතියගෙන් විමසා සිටි. සැබෑ පෙම්වතෙක් තම පෙම්වතියට ආදරවන්තයෙක් මෙන් ම පියෙක් සහෝදරයෙක් ද විය යුතුය. මේ පෙම්වතා තුළ ඒ ගුණාංග සියල්ල පිහිටා ඇත. ඒ බව නංගියේ ලෙස තම පෙම්වතිය ආමණ්ත්‍රණය කිරිමෙන් පැහැදිලි වේ.

යෞවන වයසේ හැගීම් උද්දීපනය වීම සාමාන්‍ය දෙයකි. ඒ හැගිම් ඉශ්ඨ කර ගැනිම සදහා නිසි වයස එළ‍ඹෙන තුරු සිටිය යුතුය. හරියට අටවක ගෙවී පසලොස්වක හද පායනවා මෙනි. එය කවියා දකින්නේ මෙසේය.

අරලියා මල් ඔහේ පිපුනට 
පෝය නෑ ඇවිදින්
ගෙවී අටවක නැගෙයි නව සද 
නොවී ඉමු ඉක්මන්

හැමදාම ගස් වැල්වල මල් පිපෙයි. අරලිය ගසෙත් එසේමය. එයට කාල වකවානුවක් නොමැත. එය සොභාදහමේ නිර්මාණයකි. එහෙත් පෝය දවසේ පිපෙන අරලිය මල්වල විශේෂත්වයක් ඇත. එනම් යෞවන යෞවනියන් මේ මල් ගෙන පන්සල් යන්නේ එදාටය. මෙදින බොහෝ පෙම්වතුන් මුණගැසෙන දිනයකි. මේ කවියා පවසන ආකාරයට අරලිය මල් පිපිලා තිබුණත් පෝය ළග නැත. එසේ ව්‍යංගයෙන් පවසන්නේ පෙම්වතිය නව යෞවනයට පැමිණියත් ඇගේ රූප ස්වභාවය වැඩි වුවත් නිසි කළ වයසට ඇය පැමිණ නැත. ඔබේ යෞවනය ඉක්ම ගොස් නිසි කළ වයස මෙන් ම සමාජ දැනුම් ඇති වන තෙක් පෙම්වතියට ඉවසා සිටින ලෙස කථකයා පවසයි.

ගෙවී අටවක නැගෙයි අවසද

යන ව්‍යංගයෙන් පවසන්නේ එයයි.

පුරහදේ ආලෝකය මෙන් ම අමාවක සදේ අදුර ද පුද්ගල ජීවිතයට බලපායි. අමාවක දවසට මේ ලෝකය තුළ ඇති සියලු බලවේග එළියට එයි. එය පැරණි මතයකි. එය වැළැක්විය හැක්කේ බුදුවරයෙකුට පමණි. ගෙදර බුදුන් අම්මා යන කියමන අනුව මෙම තරුණියට ද පෙම්වතා උපදෙස් දෙන්නේ දෙමාපියන් යටතේ ඔවුන්ග්‍ෙ ඇස් මානයේ ගැවසෙන ලෙසයි. ඒ නොපෙනෙන බලවේග නොව සමාජයේ යෞවනියකට තනිව සිටිමට පවා නොහැකි තත්වයක් ඇති බැවිනි.

ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මෙන් 
අමාවක ගෙවපන් 

යනුවෙන් පවසන්නේ එයයි. මෙය පෙම්වතාගේ ආදරය මනාව පෙන්වන්නකි. ඔහු ඇයට සැබැවින් ම ප්‍රේම කරයි. එබැවින් ඇගේ යෞවන වියට රූපයට එබිකම් කරන පිරිමි ඇස්වලින් ආරක්ෂා විමට මෙසේ ඇයට උපදෙස් ලබා දෙයි. ඔහු සුවදවත් නොවිද රැකගත් මල වෙනත් බඹරෙකුගේ පහස ලැබීමට ඉඩ නොදෙන ලෙස ඇගෙන් ඉල්ලීමක් කරයි.
එසේ රැකගත් ජීවිතය ආදරය සමග නිසි කළ පැමිණි පසු අප එකතු වෙමු යැයි පෙම්වතා පවසන්නේ මෙසේ ය.

පුරා පෝයට මලුත් අරගෙන 
අපිත් යමු පන්සල් 

ගීතය පුරාම ඇත්තේ උපදේශයකි. ඒ උපදෙස් ලබා දෙන්නේ පෙම්වතා විසින් තම පෙම්වතියටයි. එහිදි කවියා එය සෘජුව ප්‍රකාශ නොකරන අතර ව්‍යංගාර්ථවත් ව එය පවසයි. එමෙන් ම කවිය පුරා ඇති පුනරුක්ති මගින් ගීතය තවත් රසවත් වේ. පුණරුක්ති බහුල වීම නිර්මාණය සාර්ථක විමට බොහෝ සෙයින් බලපා ඇති බව පැහැදිලි වන කරුණකි. මෙම ගීතයේ කන්ද පිරිමැද පිරිමැද පිරිමැද යනුවෙන් ද ලන්ද මුදුනට මුදුනට මුදුනට යනුවෙන් ද පුනරුක්ති මගින් කන්ද මුදුනේ සිට හද එලිය මතුවන අයුරුත් ඒ මගින් ලන්දට කෙමෙන් කෙමෙන් හද එළිය නැගෙන අයුරුත් එයින් පෙම්වතුන්ගේ උතුරා යන ආදරයත් අපූරුවට ගම්‍ය වේ.

අම්මා