Wednesday, May 29, 2019

මල්වර චාරිත්‍රය හා බැදි අන්තර් සංස්කෘතික ලක්ෂණ


                     සිංහල මල්වර චාරිත්‍රය හා බැදි අන්තර් සංස්කෘතික ලක්ෂණ

                   සිංහල චාරිත්‍ර වාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගන්නා මල්වර චාරිත්‍රය යනුවෙන් හදුන්වන්නේ ළමා කාලය ගත කළ දැරියකගේ ශාරිරික හා මානසික වශයෙන් සිදුවන වෙනස්විම් කිහිපයක් නිසා ඇය සමාජය මගින් යෞවනියක ලෙස පිළිගැනිමයි. මෙය කාන්තාවකගේ දෙවන උපත ලෙස හැදින්වේ. සිංහල මල්වර චාරිත්‍රය තුළ සිංහලටම ආවේණික වු ලක්ෂණවලින් යුක්ත වන අතර ඒ සදහා හිංදු මුස්ලිම් මෙන් ම බටහිර සංස්කෘතික ආභාෂය ද ලැබි ඇති බව එම සංස්කෘතින් අධ්‍යනයේ දි පැහැදිලි වේ.
                        
                 දැරියක් වැඩිවිම පැමිණි පසු සිංහලයින් සිදු කරනු ලබන්නේ එම දැරිය වැඩිහිටි කාන්තාවක් ද සමග නිවසේ වෙන් කරන ලද ස්ථානයක සිටවිමයි. මෙය හිංදු සංස්කෘතිය මගින් සිංහලයට ආවේණික වුවක් ලෙස පෙන්වා දිය හැක. දෙමළ ජනතාව දැරිය පොල් අතු සෙවිලි කරන ලද නිවසින් පිටත ඉදි කරන ලද ස්ථානයක ආරක්ෂිතව දින 21ක් පමණ තබයි. මෙම ලක්ෂණය අදටත් මධ්‍යම පළාතේ සමහර ප්‍රදේශවල දක්නට ලැබේ. එහිදි ඔවුන් කරනු ලබන්නේ කොස් ගසක් යට ඉදි කරන ලද පොල් අතු පැලක දැරිය දින 7-9 ක කාලයක් සිටවීවිමයි. නැකතට ඇය නෑවිමෙන් පසු නිවසට කැදවනු ලැබේ. මීට අමතරව වැදි ජනතාව අතර ද මෙම සංස්කෘතිය දක්නට ලැබේ. මිට හේතුව වන්නේ කිලි සංකල්පයයි. මෙම කිලි සංකල්පය ද හිංදුන් මගින් සිංහලයට එකතු වුවක් විය.
                       
                මෙම කාලය තුළදි කරනු ලබන තවත් වාරිත්‍රයක් ලෙස දැරියට ශබ්ද නගා කතා කිරිම, පිරිමින් දැකිම කණ්ණාඩියකින් මුහුණ බැලිම, කොණ්ඩය පිරිම වැනි දේවල් කිරිම අකැප යයි ද ඒවා තහංචි යැයි ද කියනු ලැබේ. මෙම ක්‍රමය අප්‍රිකාවේ සුලු ජාතිකයින් ද අනුගමනය කරනු ලබන චාරිත්‍රයකි. ඔවුන්ගේ විස්වාසය වන්නේ මල්වර වු දැරියක් දැකිම මගින් පිරිමින්ට වස් වදින බවත් එවැනි දැරියක් දැකිමෙන් ඔවුන්ගේ දඩයම පවා අහිමි වන බව විස්වාසයයි. මෙම සංකල්පයම සිංහල ජනතාව අතර ද දක්නට ලැබේ. සිංහලයින් මල්වර වු දැරියකට තම පියා හෝ සහෝදරයින් දැකිම පවා තහනම් කොට ඇත. එසේ දුටුවොත් ඔවුන්ට මරණය පවා ගෙන දෙන බව ලාංකිය විස්වාසයයි.
                   
              එමෙන් ම වෑන්කූර් දුපතේ ජනතාව දැරියක් හිරු එළියට නිරාවරණය නොකරයි එසේ කළ හොත් ඇය අසීලාචාර අයහපත් කියාවල යෙදෙන තැනැත්තියක් ලෙස සලකයි. එසේ සිදු කළ හොත් දැරිය මරා දැමිමට වුව ඔවුන් පෙළඹේ. ඒ සංස්කෘතිය හා සමානව සිංහලයින් දැරියට මෙම කාලය තුළ කණ්ණාඩියකින් මුහුණ බැලිම පවා ඉඩ ලබා නොදෙයි.
                        
          මීට අමතරව මල්වර වු දැරියක් නාවන අවස්ථාවේ දි ද විවිධ සංස්කෘතින් හි ජනතාව චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් අනුගමනය කරයි. නැකතක් අනුව මල්වර වු දැරිය සුදු රෙද්දකින් වසා ජලය ඇති ළිදක් අසළට කැදවා ගොස් එහි වී සහල් කිරි කොළ ආදි පයට පෑගිමට දමා නැවුම් කළයකට මල් සදුන් ඖෂධ වර්ග දමා දැරිය නැකතට අනුව නෑවිම සිදු කරයි. මෙම චාරිත්‍රය මේ අයුරින් ම මුස්ලිම් ජනතාව ද සිදු කරයි දින 7ක් ඉක්ම ගිය පසු හැකි තරම් හිමිදිරි උදයේ ඖෂධ දැමු ජලයෙන් දැරිය නාවනු ලැබේ. ද්‍රවිඩ ජනතාව ද මෙම චාරිත්‍රය මෙසේ ම සිදු කරයි එසේ ම වැදි ජනතාව ද දැරියක් වැඩිවිය පැමිණි කළ ඇය නුග ගසක් යටට කැදවා ගෙන ගොස් එහි දි ඇගේ නෑනා හෝ නැන්දා කෙනෙක් විසින් නෑවිම සිදු කරයි.
                        
       සිංහල මල්වර චාරිත්‍ර අතර අතීතයේ තවත් සිදුකළ තවත් චාරිත්‍රයක් ලෙස පස්මෝරු කුල්ල දිමේ චාරිත්‍රය පෙන්වා දිය හැක. මෙය බොහෝ විට උඩරට ප්‍රදේශයේ සිදු කරනු ලබන ප්‍රධානතම චාරිත්‍රයකි. මෙහි දි කරනු ලබන්නේ ඇවැස්ස මස්සිනා හෝ කුල පරම්පරාවට අයත් තරුණයෙකු විසින් හාල් මුං තල කුළුබඩු පොල් ගෙඩියක් ආදි ද්‍රව්‍යන්ගෙන් සැදුම් ලත් කුල්ලක් මල්වර වු දැරියට පිළිගන්වයි. මෙයින් සංකේතවත් කරන්නේ ඔහුගේ අනාගත සහකාරිය ඇය වන බවයි දෙමළ සංස්කෘතිය තුළ ද මෙවැනි ම චාරිත්‍රයක් කරනු ලබයි. එහි දි රජකයා විසින් (රජකයා යනු සිංහල රෙදි නැන්දා වැනි පුරුෂයකි) ඇය කැමති ම ආහාර වර්ග පිරවු වට්ටියක් ඇගේ හිස වටා කරකවයි. එයින් ඇගේ වස් දොස් දුරු වන බව ඔවුන්ගේ මතයයි. ඉන් අනතුරුව දැරියගේ මස්සිනා හෝ මාමා (මවගේ මල්ලි) විසින් ඇය අතින් අල්ලා ගොස් මණ්ඩපයක් මත හිදුවයි. මෙය විවාහ ගිවිස ගැනිමක් ලෙස සිදුවේ.
                       
           මල්වර චාරිත්‍රය ආශ්‍රිත තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ කිලි හා වස් දුරු කිරිමයි. මෙහිදි දැරිය නෑවිමෙන් පසු ඇය කිරි ගසක් වෙත රැගෙන යනු ලබයි. ඉන් අනතුරුව ඇය “මට වදුස් නෑ, මගේ දෙමාපියන්ට වස් නෑ, මගේ සහෝදරයින්ට වස් නෑ, මගේ අනාගත ස්වාමියාට වස් නෑ, මට නොව වස් මෙම ගසටය” යනුවෙන් තුන්වරක් කියා ගසට කොටනු ලැබේ. මෙයින් දැරියගේ වස් දොස් හා ඇගේ සමීපතමයන්ගේ දොස් දුරුවන බව විස්වාසයයි. මෙය සිංහල හා ද්‍රවිඩ යන සංස්කෘතින් දෙකේ ම සිදු කරනු ලබන චාරිත්‍රයකි. කිලි සංකල්පය හේතුවෙන් මෙම සංස්කෘතින් දෙකේම ජනතාව දැරිය මාස තුනක් යන තෙක් පන්සලකට හෝ දේවාලයකට යාම ඇයට තහනම් කර ඇත. මෙයට හේතුව නොපෙනෙන බලවේගවලින් ඇය ආරක්ෂා කර ගැනිමයි. නයිජිරියානු වැසියන් ද මල්වර වු දැරියක් අවුරුදු 3ක් යන තෙක් පුරුෂයින් මුණ ගැසිමට ඉඩකඩ ලබා නොදෙයි. මෙයට ද හේතුව වන්නේ කිළි සංකල්පයයි-
                        
            සිංහල චාරිත්‍ර වාරිත්‍ර අතරින් මල්වර වාරිත්‍රය පිළිබද සැලකිල්ලට ගැනිමේ දි එහි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරිම ලෝකයේ අනිකුත් සංස්කෘතින් සමග මිශ්‍ර වි ඇති බව මෙවැනි කරුණු මගින් පැහැදිලි වේ.
                                                                                               



3 comments:

අම්මා