''අපි අයිති කොහෙටද?''
උදේ හවස ගමට එන යන කා හටත් ආශිර්වාද කරමින් කදු මුදුනේ පිහිටි බෝධිය අපේ ගම්මානයේ මුර දේවතාවුන් වෙසෙන ස්ථානයක් වැන්න. හතර වටින් එකිනෙක පරයා නැගි කදු වළල්ල සොබා දහම විසින් අප ගමට ලබා දුන් විශාල ආරක්ෂාවකි. කදු මුදුනක් දෙබෑ කරමින් ගමට පිවිසෙන එකම මාර්ගය තනා තිබිණු අතර අතීතයේ දී එම කපොල්ල හරහා ගමන් ගත්තේ ගොන් බැදි කරත්ත බව මා කුඩා අවධියේ දි එතැනින් ගමන් කරන විට සීයාත් අප්පච්චීත් කියා ඇති වාර අනන්ත. එහි පහළින් ගලා ගෙන යන ගංගාව ගමට ජීවය සපයන ප්‍රධාන ජීවනාලිය වු අතර ගම් පියස වැඩි කොටසක් තිබුණේ ගගෙන් එහා ඉවුරෙන් ඉහලටය. එකම නිල්වන් කෙත් යාය අදත් තැනින් තැන හෝ දක්නට ලැබීම පිළිබද එම ගොවි මහතුන්ට අනේකවාරයක් ස්තූති කළ යුතුය.
ගංඉවුර පසු කර මදක් කදු මුදුනට වෙන්නට පිහිටි අප නිවසට හිරු උදාව ඉතා අපුර්ව ආකාරයෙන් දිස්විය. හැමදාම උදෑසන පාසල් යන්නට පෙර පහන් පැලට යාම මාගේ පුරුද්දක් වූ අතර මා පහන් දල්වන්නටත් පෙර සූර්යා විසින් බුදුමුව එළිය කර තිබීම මා දුටුවේ මටත් වඩා හිරු බුදු ගුණයට ගරු කරන බවයි.
සුදු ගවුම ඇදගෙන තෙල් ගා පිළිවෙලට පීරූ කොන්ඩ කරල් දෙක අනෙක් යහළු යෙහෙළියන් අතරට මා ගිය විට මා දුටුවේ බණ්ඩිගොයම් මැද උසට වැඩුණු මාර්තු පදුරු දෙකක් මෙනි. පාසලේ දිගම වරලසට හිමිකම් කියූ මා සාමාන්‍ය පෙළ ද අනෙක් සියල්ලෝ අභිවවා ඉහළින් සමත් වුනෙමි. නංගී සහ මම එක් පසක් සේදි ගිය ගුරුපාර දිගේ පාසල් ගිය කාලය දැනුදු සිහියට නැගෙන්නේ ඉමිහිරි මතකයන් සමගිනි. නංගී ගමේ පාසලට පයින් යන විට මම නගරයේ පාසලට තේරී පත් විය.
"අත්තනායකගේ ලොකු දුව ගමේ ඉස්කෝලෙකට තේරිලා කියන්නේ"
"අත්තනායකගේ ලොකු දුව ගමේ ඉස්කෝලෙකට තේරිලා කියන්නේ"
ගමුන් අතර නිතර කතා වු තේමාවක් විය. දවසක් ගමේ ග්‍රාමසේවකගේ බිරිද කරුණා නැන්දා මගදී මුණගැසී විස්තර විමසුවාය.
"සිරිමලි දැන් ටවුමෙ ඉස්කෝලෙට යන්න ඔක්කොම හරිද? ගමේ ඉස්කෝල වගේ නෙමෙයි ළමයි වුණත් වෙනස්"
මම එතැනින් නික්මෙන්නට සිතුවද නැන්දා කතාවට අල්ලා ගන්න ඉතා දක්ෂය. අම්මා ද කඩමණ්ඩියට ඇවිත් යන අතර මග අප දැක නතර විය. අප අසළට අම්මා පැමිණෙනවත් සමග කරුණා නැන්දා කරුණාබර සිනාවකින් මුව අටවාගෙන පිටව ගියහ.
නගරයේ ජනප්‍රිය පාසල් කීපයකට ම අයදුම්පත් දමා තිබුණ ද ප්‍රමුඛතම පාසලට මා පත්ව ඇති බවට ලිපියක් ලියුම් බෙදන්නා අත්තම්මා ගෙදර තබා ගොස් තිබුණි. එම ලිපියට අනුව අලුත් පාසලට යන දිනය උදා විණි. පරණ ගවුම් ඉවත් කර අලුත් ගවුමක් අම්මා මසා දුන්නාය. සෙරෙප්පු වෙනුවට අලුත් සපත්තු දෙකක්, අලුත් පොත්, බෑගයට දමා ගත් මා පසුදා පාසල් යන්නට සිහින දකිමින් නින්දට ගියෙමි.
පසුදා පහන් විය. පිළිවෙලට ඇද පැළද ගත් මා දෙස අම්මා බලා සිටියේ වෙනදා නොමැති සතුටකිනි. මද වේලාවකින් ඈ "මේ දෙක දා ගනින් " කියා නංගීගේ කනේ තිබු කරාබු දෙක මා අත තැබීය.
මට අදටත් මතකය. මා එදා ඉස්කෝලෙට ගියාම මන් අමුතුම ලෝකයකට ගියාක් මෙන් දැනුනා මමත් තවත් ළමයින් දෙදෙනෙකුත් හැරුණු විට අනෙක් සියල්ලෝම ධනවත් පවුල්වල අය වුහ. අපට නොමැති බොහෝ සැප පහසුකම්වලින් ඔවුන් ආඩ්‍ය බව කතා කරන, කනබොන යන එන සෑම විටම දක්නට හැකි විය. ඔවුන් අප සමග කතා කළේ කලාතුරකිනි. ඔවුනොවුන් අතර උදෑසනට good morning කිවුවා වුවත් අප කීපදෙනා තෙරුවන් සරණයි කියා ගැනීම ගමෙන් උරුම දායාදයක් විය. සෑම තැනකම ඉංග්‍රිසි වැඩියෙන් අහන්නට ලැබු විට වෙලාවකට එංගලන්තයට ගියා වත්දෝ කියා සිතුණු වාර අනන්තය. කොළයක ඉංග්‍රිසියෙන් ලියා ගන්න පුළුවන් උනාට කතාකරන්න තිබුණේ ලොකු බයක් හා චකිතයකි.
"ඔයාලට English බැරිද?"
නිතරම කාගෙන්ත් එල්ලවුණු ප්‍රශ්නයක් විය. කෙසේ නමුත් උසස්පෙළ විභාගය ද ඉහලින් සමත් වු මම කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ් කලා අංශයේ අප දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වශයෙනි. විශ්ව විද්‍යාල ජීවිතයට ඇතුළත් වු මා ගමෙන් දුරබැහැර විත් ගත කරන කාලය ආරම්භ විය. පාලලේ දී මෙන් ම මෙතැනදි ද ඉංග්‍රිසි භාෂාව නිතර නිතර කතා බහෙන් අප සමග ගැටෙන්නට විය.
"ළමයි ඔයාලට මේ semester එකේ presentation දෙකක් තියෙනවා . English medium වලින් විතරයි තියෙන්නේ"
කියා දේශකතුමා ශාලාවෙන් නික්ම ගියේය. කෙසේ හෝ මෙය කළ යුතුය. මා ඉංග්‍රිසි කතා කිරිමට අදක්ෂය. නමුත් මට දැන් ලැබි ඇති අභියෝගය ඉංග්‍රිසියෙන් ඉදිරිපත් කිරිමක්ය.
"සිරිමලි ඔයාට ඉංග්‍රිසි අමාරුයි නම් මං කැමති ඔයාට කියලා දෙන්න"
මගේ යෙහෙලියක් මට කීවේ මගේ හිත ධෛර්යමත් කරමිණි. දින ගණනාවක් මා ඇගෙන් ඉංග්‍රිසි උගත්තෙමි. ඉංග්‍රිසිවලට මා දැන් බියක් නැත. ඇත්තේ ආසාවකි.
ඇමතුමක් පමණක් ගන්නට හැකි වු මගේ දුරකතනයට දැන් මගේ සියලු අවශ්‍යතා ඉටු කළ නොහැකි විය. ගෙදරින් දුරකතනයක් ලබා ගන්නට මුදල් ඉල්ලිය නොහැකිය. එපමණක් නොව පරිගණකයක අවශ්‍යතාව ද තදින් දැනෙන්නට වුව ද සැබෑ කරගන්නට ඇති සිහින අතර එය ද විය. අමතර ආදායම් උපයන යාලුවන් සමග මම ද ආයතනයකට අමතර කාලයේ රැකියාවක් සදහා යොමු විය. එහිදි මගේ ඉංග්‍රිසි දැනුම අනුව උපාදි සම්පුර්ණයෙන් පසුව එහි මට රැකියාවක් ලැබුණි. එම ආයතනයේ පුහුණුවක් සදහා මා හට විදේශ සංචාරයක් පැරීසියට යාමට අවස්ථාව ලැබුණි.
"දුවේ උඹ හරි වාසනාවන්තයි. අපිට ගොඩක් සතුටුයි උඹ දියුණු වෙනකොට උඹට වරදින්නෑ"
අම්මා විසින් එවා තිබුණු ලිපියට මම ලිපියක් ලියන්නට සිදුවුව ද පුදුමයකි මා එහි මගේ නම හා ලිපිනය දමා තිබුණේ ඉංග්‍රිසියෙනි. එය මම පසුව සිහිවන විට මා මා දෙසම දෙවරක් සිතා බැලීමි.
මා විවාහකය. මගේ සැමියා පරිගණක ඉංජිනේරුවරයෙකි. නමින් ජෝර්ජ් ඩිසාරෝ ය. පැරිසියේ අධ්‍යාපන පුහුණුවේ දි අප දෙදෙනා මුලින් ම මුණුගැසුණු මතකය පුදුම මිහිරි අද්දැකීම් ගොඩක එකතුවක් විය. ඔහු මා හා අතර ප්‍රේමය දළුලා ගියේ දින 365 ගෙවී යනු ද නොදැනීම ය. අප අතර ප්‍රේමය කොතෙක් තදින් කා වැදුණි ද යත් අප දෙදෙනා දෙරටක බව මටත් ඔහුටත් නොදැනෙන තරම් විය. පුහුණුව අවසානයේ දි මට තවත් වසර කීපයක් එරට රැදෙන්න වූයේ ආයතනයේ සම්බන්ධීකාරක අධීක්ෂණයේ නිමග්න වෙමිණි. යළිත් ලංකාවට එන්නට බොහෝ කාලයක් ගත වීම මා සිතේ තදින් දැනුනේ නිතර නිතර මාපියන්ගෙන් ආ ලිපි නිසාවෙනි.
"මාලී අපි කසාද බදිමු මම ඔයාට ආදරෙයි."
ජෝර්ජ් මට කීවේ දෙනෙතේ ආදරය පුරවාගෙනය. මා විවාහ වන බව දෙමාපියන්ට ලිපියක් දන්වා යවා මා විවාහ ගිවිස ගතිමි. හෙල කුල සිරිතට පෝරුවට නැග මංගල අශ්ඨක මැද විවාහයට මාගේ සිතේ තිබු කැමැත්ත පල්ලියේ දිමැකී ගිය සිතුවමක් විය. උඩරට සාරිය වෙනුවට දිග සුදු ගවුමකිනු මා සැරසුවේ බටහිර විලාසිතාකාරිනියකි.
"ඔයා ලංකාවේ වුණාට මේ ඇදුම්වලට ඔයා මෙහෙ කෙල්ලෙක්ට වඩා ලස්සනයි"
ඇය මට කීවාය.
මට දැන් වයස 29ක් මං මෙරටට පැමිණ වසර 6ක්. මගේ මවුබිමට යාමට මට තිබු ආසාව මගේ ආදරණිය සැමියා සැබෑ කරමින් අපේ පුංචි පවුලම ලංකාවට පැමිණියෙමු. කුලී වාහනයක් රැගත් අපි ගමට පිටත් වූයේ මෙරට සිරි අසිරි නරඹමිණි. කදුවැටි කෙත්වතු මැදින් අප රථය ගමට ඇතුළු වීය.
"or my good, this is your village"
සැමියාගේ මුවින් අදහා ගත නොහැකි සේ වදන් පිටවිය.
අප රථය ගෙමිදුල මැද නතර කරන විට අම්මා ඉක්මනින් එළියට විත් එකවරම නැවතිණි. ඇය මා දෙසම බලා උන්නේ කාන්තාවක් තම පළමු දරුවා වදා පළමුව දකින අවස්ථාවේ ඇති ආදරණිය බැල්මෙනි. මා එය හොදින් දන්නේ මම ද දැන් මවක් නිසාවෙනි.
මා වේගයෙන් දිවගොස් අම්මා වැළද ගත්තෙමි. ඇය ද තදින් මා වැළද ගත්තේ "ලොකු දුවේ" යැයි සෙනෙහෙබර වදනින් යුතුව ය. මා ඇගේ දෙපා අල්ලා වැදවැටුණි. මා මදක් එලෙස ම සිටියෙමි. මා හැරී මගේ දරුවාත් ස්වාමියා දෙසත් බැලීමි. ඔවුන් මගේ දෙස ඉතා ඕනෑකමින් බලා සිටිනු මා දුටුවෙමි. ඔවුන්ට මෙම ක්‍රියාව නුහුරු බව මට තේරුම් ගියේ එවිට ය. නමුත් මා තේරුම් ගත් මා ස්වාමියා ද මා කළ දේම අනුවරණය කළේ ය. නමුත් මගේ දරුවාට එය නුහුරු නොතේරෙන්නේ ය. ඇය විගස විත් මා වැළද ගත්තේ ය. මා විසින් ම ඇය මෑණියන්ගේ දෙපා වැන්දුවෙමි. මගේ නැගණිය ද අල්ලපු ඉඩමේ තනා තිබු නිවසේ සිට දිව ආවේ "අක්කේ" කියාගෙනය.
අප ලංකාවට පැමිණ දැන් වසරක කාලයක් ඉක්ම ගොස් ය. මා රැකියාව කළ ආයතනයේ ම ලංකාවේ රැකියාව කරගෙන යාමට අප දෙදෙනාට හැකියාව උදාවුණි. සැප පහසුව කෙසේ වුව ද අප මෙරට පරිසරයට ටිකින් ටික හුරු වුණි. දියණිය ද අම්මා සමග සිට සිංහල හොදින් කතා කිරීමට ඉගෙන ගත් අතර මගේ ස්වාමියාට ද තරමක් දුරට සිංහල කතා කිරිමට හා තේරුම් ගැනිමට හැකි විය.
වසර දෙකකට වැඩි කාලයකට පසු අපි මාගේ සැමියාගේ රටට යාමට තීරණය කලෙමු. දියණීය එරට පාසලකට යැවීම ඔහුගේ තීරණය වීම එයට හේතුවක් වු අතර ඇය දැන් සාමාන්‍ය ලාංකික දැරියක් ලෙසම සිංහල කතා කරයි. අපට මෙරටින් පිටවීමට කාලය උදා විණි.
" දුවේ බුදුසරණයි"
කාගෙත් ආශිර්වාද මැද අප ගුවන්තොටුපලට ඇතුල් වීමු. ගුවන්යානයේ දී
"තාත්තා ආය අපි අම්මලාගේ ගෙදර එමු"
මාගේ දියණියගේ සිගිති වදන් විය.
මා කල්පනා කලේ අපි කොයි පවුලේ අය ද කියා ය. මා පැරිස්වල ද ජෝර්ජ් ලංකාවේ ද යන්න මට තවමත් සිතා ගත නොහැකි අපුරු කවියක් වැන්න සිතුවිල්ලකි.