Sunday, July 7, 2019

පතිවෘතා බලයේ කැඩපත පත්තිනි දේවිය හා බැදි චාරිත්‍ර වාරිත්‍ර

රූපකායෙන් අති සුන්දර වු පත්තිනි දේවිය උපත ලබන්නේ ඉංදියාවේය. ඇය පාලග නම් වෙලෙන්දෙක් සමග විවාහ වේ. පත්තිනිය තම සැමියාට ඉතා පතිභක්තියෙන් හා ආදරයෙන් සිටි තැනැත්තියක් විය. එහෙත් ඔහු පෙරුම්කාරි නම් නළගනක් සමග අනියම් සම්බන්ධයක් පැවැත් වු අතර ඒ නිසාම ඔහු දිනෙන් දින පිරිහීමට ලක් විය. දිනෙක පත්තිනිය තම සැමියාට පාදයේ බැදි රන් වළල්ල දෙන්නේ මුදල් අගහිගකම් හේතුවෙන් මදුරාපුරයට ගොස් එය දී මුදල් ලබා ගැනිමේ අරමුණිකි. මේ  කාලයේ ම එරට රජුගේ බිසවගේ ද පා සළඹ නැතිවු අතර පත්තිනියගේ පා සළඹ හා එය සමාන වුයෙන් පාලග කුමරු එය සොරකම් කර ඇති යැයි රජු ඔහුට දඩුවම් කරන ලදි. ඇය තම ස්වාමියා මිය ගිය ශෝකය හා දුකට ඇය පළිගැනිමේ චේතනාවෙන් තම වන් පියයුර කඩා පොළවේ ගසා එයින් මුළු පඩිපුරය ම ගින්නෙන් දවා අළු කරවිය. එයින් අධර්මිෂ්ඨ සියල්ල ම මියගිය අතර අනතුරුව තම පතිවෘතා බලයෙන් සැමියාට නැවත ජීවය දි පඩි රටට ගියහ.

               පත්තිනි දේවිය ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන් ම ද්‍රවිඩ ජනතාවගේ ද පුදපෙත් ලබන ප්‍රධාන කාන්තා දේවියයි. පත්තිනි දේවිය සිංහල සම්ප්‍රධායට අනුව බෝධි සත්ව පාරමිතා පුරන්නියකි. ඇය හිංදු සම්ප්‍රධායට අනුව පාර්වතියගේ අවතාරයයි. බුදුදහමේ බොහෝ සුත්‍රවල පත්තිනි දේවිය ගැන සදහන් වේ. ලංකාවේ පවතින ජනශෘතියට අනුව පත්තිනිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවිය ද විය.

                 ලංකාවේ පත්තිනි දේවිය සදහා ප්‍රසිද්ධ ම දේවාලය වන්නේ නවගමුවයි. බෝ වන රෝග, නියං සමයෙන් කෙත්වතු ආරක්ෂා කිරිම, වසංගත රෝග පැතිරීම වළක්වා ගැනීම දරුවන් මෙන් ම නොමේරූ දරු ගැබවල් ආරක්ෂා කිරිම වැනි කරුණු රාශියක් උදෙසා අතීතයේ සිට ලාංකිකයන් පත්තිනි දේවියගේ පිහිට ඉල්ලා සිටියහ. ඇය වෙනුවෙන් භාරහාර විය.

            මේ අනුව පත්තිනි දේවියගේ පිහිට ආශීර්වාදය පතා කරනු ලබන ප්‍රධානතම කටයුත්තක් වන්නේ කිරිඅම්මාවරුන්ගේ දානයයි. මෙහිදි කිරිදරුවකු වෙනුවෙන් හෝ ගැබිනි මාතාවක් වෙනුවෙන් හෝ රෝගයක් වැළදුනු අයකුගේ ඉක්මන් සුවය උදෙසා ඇඹුල් කෙසෙල් ගසක පඩුරක් ගැටගසයි. එහි කැන ඉදුණු පසු කිරිඅම්මාවරු හත්දෙනෙක් හෝ දාහතරදෙනෙකු නිවසට ආරාධනා කර දානය පිළිගන්වයි. එසේ කිරිඅම්මා දානය සදහා තෝරා ගන්නේ දරුවන් බිහිකළ අම්මාවරුන් පමණක් විම වි‍ශේෂත්වයකි. ඔවුන් කපුටන් හැඩලීමට පෙර ආතුර නිවසට යා යුතුය. එහිදි එම නිවස ළං වන විට ආශිර්වාද කවි කියමින් සෙත් පතමින් නිවසට වඩී. නිවසට යාමෙන් පසු පත්තිනි මෑණියන්ට මෙන් ම කිරි අම්මාවරුන්ටත් නොඉදුල් කැවුම් කිරිබත් හා කෙසෙල් නිවැසියන් පිළීගන්වයි.  ඉන් පසු පත්තිනි හෑල්ල හා ආශිර්වාද කවි කියයි. අනතුරුව පහන්තිර නිවිමේ චාරිත්‍රය කිරිමෙන් පසුව ආතුරයාට ආශිර්වාද කර නිවසේ කිසිවෙකුත් සමග කතා නොකර නිවසින් පිටවීම පත්තිනි දේවාලයේ කිරිඅම්මාවරුන්ගේ දානයේ ප්‍රධාන විධික්‍රමයයි.

              එමෙන් ම පත්තිනි දේවාලය ආශ්‍රිත කරනු ලබන තවත් එක් චාරිත්‍රයක් වන්නේ අංකෙලියයි. මෙය චාරිත්‍රයක් මෙන් ම තවත් එක් ක්‍රිඩාවක් ද වෙයි. අංකෙලිය යනු ශක්තිමත් අන්දර කදන් දෙකක් ගෙන ඒවා ශක්තිමත් ලෙස එකට ගැටගසයි. අනතුරුව දේවාලයට සම්බන්ධ ගම් දෙකක් උඩුපිළ හා යටි පිළ ලෙස බෙදී දෙපසට ශක්තිමත් ලෙස ගැට ගැසු අන අදිනු ලබයි. උඩුපිළ පත්තිනි දේවිය ද යටිපිළ පාලම් කුමරු ද නියෝජනය කරනු ලබයි. එහිදි උඩුපිළ ජයග්‍රහණය කරණු ලැබුවොත් ගම් දෙකටම සුභ කාලයක් වන අතර පත්තිනි දේවියගේ ආශිර්වාදය ඔවුන්ට හිමිවන බව ගම්මු විස්වාස කරනු ලබයි. ඊට අමතරව කෙත්වතු සරුසාර වී ගම් අතර සමගිය සාමය වර්ධනය වන බවටත් ඔවුන්ගේ විස්වාසයයි.

               පත්තිනි දේවිය යනු පතිවෘතා බලයේ කැඩපතයි. පතිකුලයට යන මනාලිය ද ඒ අයුරුමය. එබැවින් සත්පත්තිනි මෑණියන් නියෝජනය කරමින් පෝරුවට නගින මනාලියගේ ගෙලට මාල හතක් පලන්දයි. මාලහත දාමා පෝරුවට නගින මනාලියගේ මෙතෙක් කල් තම දෙමාපියන් සෙවනේ ඉතා කීකරුව තම පවිත්‍රත්වය රැක ගනිමින් චරිතවත්ව තම දිවි පෙවෙත ගත කළ බව මනමාල පාර්ශ්වයේ මවට හා නැදැ පිිරිසට ඇගවිමට මනමාලියගේ ගෙලට මාල හතක් පලන්දයි. එමෙන් ම ඈ පත්තිනි දේවිය මෙන් ම ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙමින් තම සැමියාට ගෞරවාන්විත ව සලකනු ලබතැයි මනාමල පාර්ශ්වයේ පිරිසට හැගවීම මාලහත දැමිමෙන් අපේක්ෂා කරයි.

             මීට අමතර ව පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පතා පොල් කෙලිය, ගම්මඩු ශාන්තිය, නානුමුර මංගල්‍ය වැනි බොහෝ ශාන්තිකර්ම මගින් පත්තිනි දේවියගේ ආශ්වාදය පැතිමට ග්‍රාමිය ජනතාව අදටත් උනන්දුවක් දක්වති.

අම්මා